Home
 

Search this site powered by FreeFind


You may have to try different spellings for Sinhalese Names

 


Search the web Search this site

 

 

Home > Heritage > Kandy > Madawala Rajamaha Viharaya

මැදවල රජමහා විහාරය

Medawala Rajamaha Viharaya

පිළිම ගෙය - මහනුවර යුගයේ වාස්තු විද්‍යාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව ඇත. (07° 21’ 21” හා 80° 33’ 49”). මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5ක පමණ දුරක් ගමන් කළ විට දී විහාරස්ථානයට ළඟාවිය හැකිය. සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි.

මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එසමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි.

ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති ‍මැදවල ශිලාලේඛනය හා මැදවල සන්නස යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි වෙයි. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරී වෙයි.

මැදවල රජමහ විහාරයේ බ්තුසිතුවමක්

ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. එමෙන්ම ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි.

විහාරස්ථානයේ පවතින ටැම්පිට විහාරය දිවයින් වඩාත් ප්‍රචලිත ටැම්පිට විහාරයක් වේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ පොළොවේ තෙතමනය හා වේයන් වැනි කෘමී සතුන්ගේන් දැවයෙන් කළ ප්‍රතිමාගෘහයට වන හානිය අවම කිරීම සඳහා උපක‍්‍රමයක් ලෙස මහනුවර යුගයේ දී ව්‍යප්ත වූ වාස්තුවිද්‍යා නිර්මාණයකි. ටැම්පිට සම්ප්‍රදායට අයත් විහාර කුරුණැගල, කෑගල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්කයන්හි බහුල ව්‍යාප්තියක් පෙන්වයි.

වේදිකාවක් මත ගල් කුළුණු 20ක් ඍජුකෝණාස්‍රාකාරව සිටුවා පිළිමගෙයි පාදම සකසා ඇත. ගල්කණු මත හරස් අතට යෙදූ දැව බාල්ක සිරස්, කැටයම් සහිත දැවකණු 16ක් සිටුවමින් ගෘහරාමුව තනාගෙන ඇත. එම ලී කණු සිට අඩි කිහිපයක ඉඩක් ශේෂකරමින් වලිත්ති තාක්‍ෂණය අනුව ඍජුකෝණාශ‍්‍රාකාර පිළිම ගෙය නිර්මාණය කර ඇත. එක් පසෙක දෙපියන් කැටයම් හා චිත්‍ර සහිත දොර නිමවා ඇත. මෙම වලිත්ති බිත්ති හා චංකමණය ඔස්සේ ගමන්කරණ දැව කණු උපයෝගි කරගනිමින් මහනුවර යුගයට අයත් පියස්ස නිමවා ඇත. පෙති උළු භාවිත කරමින් සාම්ප්‍රදායික රටා සහිතව පියස්ස සකසා ඇත. චංකමණය වටා ගමන්කරන දැවකණු යාකරමින් බීරළු වැටක් නිමවා ඇත. මෙම මළුවට ඇතුළු වීම සඳහා දැව පඩි කිහිපයක් සකස්කර ඇත.

මැදවල රජමහ විහාරය්

පිළිමගෙයට පිවිසීමට ඇති දැව ද්වාරය දෙපස අල්පෝන්නත මුරභටයන් දෙදෙනකු නිරූපණය කොට ඇත. මහනුවර ශෛලියේ අලංකරණ රටා මඟින් සරසණ ලද ද්වාරයෙන් පිවිසෙනවාත් සමඟම දර්ශනය වනුයේ භූමිස්පර්ෂ මුද්‍රාව මුද්‍රව නිරූපණය බුදුරජාණන් වහන්සේගේ ගිරිගරුඩ බුදුපිළිමය හා අලංකාර මකර තොරණයි. පිළිමයේ ශෛලිය මහනුවර කලා සම්ප්‍රදායට සමීපය. උස් වූ ආසනයක් මත ප්‍රතිමාව ස්ථාපනය කොට ඇති අතර ම එම ආසනයේ අංගයක් ලෙස අල්පෝන්නත කැටයම් හා සිතුවම් සහිත මකරතොරණ, ප්‍රතිමාව පිටුපස නැගී සිටියි. ප්‍රධාන බුද්ධප‍්‍රතිමාව දෙපස කාලවර්ණ දෙවියකුගේ හෝ මුරකරුවකුගේ ප‍්‍රතිමා දැකගත හැකිය. මකරතොරණ මත සතරවරම් දෙවිවරු නිරූපණය කෙරෙයි. ප‍්‍රතිමා අතර හිස් අවකාශයන් පිරවීම ස`දහා සිතුවම් භාවිත කොට ඇත. ප‍්‍රධාන ප‍්‍රතිමාව ඉදිරිපස දෙපසින් හිදි ඉරියවි සහිත කුඩා ප‍්‍රතිමා යුග්මයකි. එම ප‍්‍රතිමා පෙර ප‍්‍රතිමාවනට වඩා නූතන ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ.

ප්‍රතිමාගෘහයේ සිවිලිම, වම් හා දකුණු, පිටුපස ආදි සියලූම බිත්ති මහනුවර ශෛලයේ සිතුවමින් අලංකාර කොට ඇත. මෙම සිතුවම් මැදවල විහාරයට ජාතික මට්ටමේ කීර්තියක් අතිකර දීමට සමත්ව ඇත. අඛණ්ඩකතන සම්ප්‍රදාය අනුව චිත්‍රණය කොට ඇත.

වම්පස බිත්තිය ඉහළ තලය සොළොස්මස්ථාන නිරූපණය කොට ඇති අතර දෙවන තීරුව බුදුපුදට යන රහතන් වහන්සේ නිරූපණය වෙති. දකුණු පස බිත්තිය ඉහළම ඵලකය සත්සතිය ද, දෙවන ඵලකය ජාතක කථා නිරූපණය ද වේ. එහි දී වෙස්සන්තර ජාතකය ප්‍රධාන වේ. ද්වාරය දෙපස බිත්තිය භික්ෂූන්වහන්සේ, ප්‍රභූවරු හා සාමාන්‍ය ජනයා නිරූපණය කෙරෙයි.

පිළිමගෙයි දැව සිවිලිම පුරා තුසිත භවණ නිරූපණය කොට ඇති අතර මල්කම් හා ලියකම් ද ප්‍රමුඛ වේ.

මෙම බිතුසිතුවම් විවිධ හායනකාරි තත්ත්වයනට ලක්වන බව හා ලක් වූ ආකාරය හඳුනාගත හැකිය. මෙම සිතුවම් මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණයට ලක්ව ඇත. කෙසේ වුව ද වර්ණ ධරණ ස්තරයේ කුඩා හා විශාල කුහර Laquna දැකගත හැකි ය. එමෙන්ම සිතුවම් අතර කුඩා හා විශාල පිපිරීම් දැකගත හැකි ය. විශේෂයෙන්ම සීලිම ආශ‍්‍රිතව තෙතමනය ම`ගින් ඇතිකරන හායනයට ලක්වෙමින් පවතී. වේයන් වැනි කෘමීන් ම`ගින් දැවමය ද්වාරයට හානිකිරීමට උත්සහ දරා ඇත. මෙවැනි හායනකාරී තත්ත්වයන් වැලැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සංරක්ෂණයේ දී ද උත්සහකොට ඇති බව පෙනේ.

මැදවල රජමහ විහාරයේ ඇතුලත්

ටැමිපිට විහාරය ඉදිරිපස භික්ෂූන් වහන්සේ විණයකර්ම සිඳුකරණ පොහොයගෙය ස්ථාගගතව ඇත. මෙය මහනුවර හා ලංදේසි ශෛලයේ වාස්තුවිද්‍යා ලක්ෂණ එකට මුසු වූ නිර්මාණයක් වෙයි. උස් වූ පිල හා පියස්ස මහනුවර ශෛලය ද, බිත්ති හා කුඵණු ලංදේසි ආභාසය ද නිරූපණය කෙරෙයි. ගොඩනැගිල්ල වටා සීමාගල් ස්ථාපනය කොට ඇත. ටැම්පිට විහාරය, පෝයගෙය හා නව ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශවීම සඳහා ඉදිකොට ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක අංගයක් ලෙස වාහල්කඩ දැක්විය හැකිය. මෙය ද මහනුවර හා ලංදේසි වාස්තුවිද්‍යා ශෛලයේ බලපෑම සහිතව නිර්මාණය කර ඇති බව පැහැදිලි ය.

ඍජුකෝණාස‍්‍රාකාර හැඩයක් ගන්නා වූ වාහල්කඩ සඳහා ප‍්‍රවේශවීමට ගල් පඩිපෙළක් භාවිතයට ගෙන ඇත. මදක් උස් වූ පාදමක් මත ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ඉදිරිපස හා දෙපස බිත්ති සම්පූර්ණයෙන් ඉදිකොට ඇති අතර පිටු පස බිත්තිය අර්ධ (කොට* බිත්තියකි. ද්වාරය දෙපස රවුම් හැඩැති ලංදේසි ආභාෂය දනවන කුඵණු 2කි. ඉදිරිපස බිත්තිය අතරින් ප‍්‍රවේශයයි. එය මකර තොරණකින් අලංකාර කරන ලද ලංදේසි ආරුක්කුවක් වේ. මහනුවර ශෛලයේ පියස්ස සඳහා පෙති උඵ භාවිත කර මනබදින රටා නිරූපණය කරයි. අතීත කාලයේ භික්ෂූන්වහන්සේගේ ගමනාගමන කටයුතු සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි පැලැක්කියක් ද මෙම වාහල්කඩ තුළ ප‍්‍රදර්ශනයට තබා ඇත.

මැදවල විහාරස්ථානයේ භික්‍ෂු ආවාස ගෘහය ද වාස්තුවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි. මැදමිදුලක් සහිත ආවාසගෘහයේ ඉදිරිපස පසුකාලීනව විපර්යාසයනට ලක් ව ඇත. ආවාසයේ මැදමිදුල අටුව තැබීම සඳහා භාවිත කරයි.

කන්ද උඩරට සෙන්කඩගල නුවර පිහිටි මැදවල විහාරය වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්ම, සෞන්දර්යාත්මක හා ආගමික අගයන් ප‍්‍රකාශකරන අගනා සිද්ධස්ථානයක් ලෙසින් ආරක්ෂාකොට මතුපරපුර වෙත සම්පේ‍්‍රෂණය අත්‍යවශ්‍ය සමාජවගකීමක් වන්නේ ය.

විහාරාධිපති, පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමි,
මැදවල රජමහාවිහාරය, මැදවල
සටහන : මහින්ද කරුණාරත්න
ඡායාරූප : චන්දිම අඹන්වල

Locate on Google Maps

 

Home > Heritage > Kandy > Madawala Rajamaha Viharaya

Created : May 2, 2011
Updated May 2, 2011

 


Join Sri Lanka Banner Exchange

 

Send comments to nishan[attt]amazinglanka.com (please substitute @ for [attt] )